දිනය - 2020.04.29
වේලාව - ප.ව. 6.00
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද - රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය - බන්දුල විජේවීර
අද ගැයුම- පියුමි කෞශල්‍යා ඒකනායක
දේශක - නාලක ඉල්ලවතුර
ඕස්ට්‍රේලියාවේ ක්‍රයිජිබර්න් සිට...
ධීරානන්ද විද්‍යායතනයේ සිසු දරුවන්ගේ ආකල්ප ඉහළ නැංවීම සඳහා, දිනේෂ් සම්පත් කුමාරසිරි මහතාගේ අදහසක් මත ක්‍රියාත්මක වූ මාසික ගීත රසවින්දනාත්මක වැඩසටහන, මාර්ගගත ක්‍රමයට අනුව "සොඳුරු සැන්දෑව" නමින් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එක් දේශකයෙකු විසින් එක් වරකට එක් ගීතයක් බැගින් අර්ථ විග්‍රහයක් සිදුකෙරෙන අතර එම අර්ථ විග්‍රහයන්, සජීවී ඉදිරිපත් කිරීමක් සමඟ විද්‍යායතනයේ වට්ස්අප් සමූහ හා Blog තුළ මෙසේ මුදා හැරෙනු ඇත. එහෙනම්,
එන්න විඳගන්න
"සොඳුරු සැන්දෑව"
අර්ථ දිගහැරුම - ප්‍රවීණ දේශක/ කථිකාචාර්ය
නාලක ඉල්ලවතුර........
සුබ සැන්දෑවක්.....
ඔබට, මට, අපි හැමකෙනෙකුටම අම්මා කෙනෙක් ඉඳලා තියෙනවා. ඇගේ උණුසුම දැනිල තියෙනව. අද තමන් අතර ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ව දාලා ගියා වෙන්නත් පුළුවන්. ඒත් මව් සෙනෙහස එක මොහොතක් හෝ විදින්නට වාසනාව තිබුන නිසයි ඔබ මේ ලියමන කියවන්නෙ.
මෑතකදී මට කියවන්නට ලැබුණු විචාරයක අම්මලා කොටස් තුනකට බෙදලා තිබුණා.ඒ එක අම්ම කෙනෙක් තමයි අහසෙ අම්මා.
අහසෙ අම්ම කියල කියන්නෙ අපිට කවිකතාකාරයො එහෙම නැත්තං සාහිත්‍යකරුවො මවල දීල තියෙන අම්මා. අපි දැකල නෑ. අපි ස්පර්ශ කරල නෑ. කිසාගෝතමිය කියන්නෙ එහෙම අම්ම කෙනෙක්. පටාචාරව, එහෙමයි. යශෝධරාව, ඒත් එහෙමයි. ඒ අපේ පරමාදර්ශී මාතෘත්වය. සමහර විට අපි දැක නැහැ අසා තිබෙනවා පමණයි.
ඊළඟ අම්මා තමයි මේ මොහොතේ සමාජය තුළ අපි දකින නෙත් සිත් වශී කරන අම්මා. ඇන්කර් වෙළඳ දැන්වීමේ ඉන්න අම්ම. ඒ අම්ම හරි තරුණයි. ඒ නියපොතුවල තියෙන්නෙ අමුතු සුන්දරත්වයක්. ඇගේ දෙතොල් සුන්දරයි. හරියට රාහුල හාමුදුරුවන් "සිසි වන උවණ ඉඟ සුඟ ගත හැක මිටින නිසි පුළුලුකුල පුලුලුකුල රිය සක යුරු තිසර තන" කියලා දැකපු කාන්තාව වගේ. මේ අම්මා ෆේස්බුක් යන, පයෝධර ආරක්ෂා කර ගන්න තමන්ගෙ දරුවන්ට හරියට කිරි නොදෙන, එහෙම නැත්නම් තමන්ගේ රූපය අලංකාර කර ගන්න විවිධ උපක්‍රම අත්හදා බලන්න ගිහිල්ලා මිය යන්න පවා සිද්ධ වෙන කෙනෙක්.
හැබැයි තව අම්මා කෙනෙක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මේ ඔබේ අපේ අම්මා.රෑ දවල් දෙකේ නැතුව අපිට කන්න දෙන්න බොන්න දෙන්න වෙහෙස මහන්සි වෙන අම්මා. සමහර විට තාත්තාගෙන් ගුටි කාලා. කවදාවත් ඇය තම නියපොතු වර්ණ ගන්නල නෑ. ඇය ෆේස්බුක් ගැන දන්නේ නැහැ. හැබැයි ඇය මාතෘත්වය ගැන දන්නවා. එහෙම අම්මල තමයි අපිට කන්න දෙන්න බොන්න දෙන්න කඳුළු නෑඹිලියට දාල සහල් ගරන්නෙ.
ලෝකයේ කිසිම දිනෙක පිරිමි ඔබට විඳින්නට නොහැකි වේදනාවක් දරාගෙන මේ ලෝකෙට බිහි කළ අම්මා. පහු කාලෙක අපේ ලෝකේ ලොකු වෙනකොට, අපට ලෝකයේ දොරවල් විවර වෙන කොට, පුංචි කාලේ අපි ළඟ මහා වෘක්ෂයක් වගේ හිටිය අම්මා අපට පුංචි වෙන්න ගන්නවා. ඊට පස්සේ පස්සේ අපේ ලෝකෙට තවත් බොහෝ අය එනවා. ඒත් වැරදුණු දවසට ආපහු එනකොට ගෙදර ඉන්නේ අම්මා විතරයි. මේ තමයි අම්ම. එහෙම අම්මා කෙනෙක්, තමන් අම්මා කෙනෙක් වුණු දවසක, එහෙම නැත්නම් තමන් තාත්තා වුණු දවසක, තමන්ගේ දරුවා නළවන්න නැළවිලි ගී කියද්දී ඈ මේ ලෝකේ නැති නම්, ඒ හැඟීම හැමෝටම වේදනාත්මකයි.
ඉතිං අපි සිහිකරගමු අපේ අම්මව
ලෝකෙ කොහේ හරි විඩාවට පත්වෙලා අවසන නැවත හැරී ගෙදර එනකොට එදා වගේම ඇය ඉඳිකඩ ළඟ බලා හිඳීවි අපි එනතුරු අපේ අම්මා .........